ආර්ථික පරිවර්තනය, කලාපීය ස්ථාවරත්වය සහ අනාගත දියුණුව සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති ZEE Media WION ගෝලීය නවෝත්පාදන සහ නායකත්ව සමුළුව අමතමිනි.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටක් පවසා සිටියේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීමෙන් ඔබ්බට ගොස් ස්ථාවර සාර්ව ආර්ථික පදනමක් මත වේගවත්, ඇතුළත් කරගත් සහ තිරසාර වර්ධනයක අවධියකට පිවිසෙමින් සිටින බවත්ය. එසේම මෙහි දී ඉන්දියාව තරඟකරුවකු ලෙස නොව ප්‍රධාන හවුල්කරුවකු ලෙස සැලකිය යුතු බවත් සහයෝගීතාවය සඳහා අවස්ථාවක් ලෙස නිෂ්පාදන සහ ඩිජිටල් තාක්ෂණයේ නැගීම අවශ්‍ය බවත් මෙහි දී ඉස්මතු කළේය.
තවද කලාපීය ආරක්ෂාව සහ සමුද්‍රීය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ඒකාබද්ධ උත්සාහයන්ගේ වැදගත්කම අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය සඳහා ඉන්දියාවට සහයෝගය ලබා දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් තම දැක්ම ඉදිරිපත් කරමින් කියා සිටියේ නීති ප්‍රතිසංස්කරණ, ශක්තිමත් දත්ත ආරක්ෂාව, සයිබර් ආරක්ෂණ රාමු සහ රට පුරා ඩිජිටල් ඇතුළත් කිරීමේ මුලපිරීම් හරහා 2030 සහ 2035 අතර ඇමරිකානු ඩොලර් බිලියන 30ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට යෝජනා කරන බවයි.
එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය, සැපයුම්, සංචාරක වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ නිෂ්පාදන ශක්තියට අනුපූරක මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කළ යුතු බවත් එහි දී ඉන්දියාවේ UPI පද්ධතිය ලංකා QR සමඟ ඒකාබද්ධ කිරීම හරහා බාධාවකින් තොරව දේශසීමා අතර ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමත් ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ද අවධාරණය කළේය.
සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව පරිමාව පදනම් කරගත් වර්ධනයෙන් ඔබ්බට ඉහළ වටිනාකමක් ඇති, තිරසාර අත්දැකීම් කරා ගමන් කළ යුතු බවත් ගෝලීය වශයෙන් Made in Sri Lanka සන්නාමය ප්‍රවර්ධනය කළ යුතු බවත්ය. එසේම කුසලතාව සහ සැවොම ඇතුළත් කර ගත් සංවර්ධනය සඳහා වූ ඔහුගේ කැපවීම නැවත තහවුරු කරමින් ආර්ථික ප්‍රගතිය තුළින් සියලු පුරවැසියන්ට ප්රතිලාභ ලබා දිය යුතු බව ද අවධාරණය කළේය.
අවසාන වශයෙන් ඵලදායී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය රටට වටිනාකමක් එකතු කරන ප්‍රතිපත්තිවලට සහාය දෙන බවත් රටට වටිනාකමක් එකතු නොකරන ප්‍රතිපත්තිවලට විරුද්ධ වන බවත් පවසමින් ශ්‍රී ලංකාවේ ඊළඟ අදියරේ දියුණුවට හවුල් වීමට ගෝලීය ආයෝජකයින්ට ආරාධනා කරන බවත් පැවසීය.
Lanka Newsweek © 2026